Open day and Sri Lankan cultural day – 2022

නෙදර්ලන්තයේ පිහිටි එකම ශ්‍රී ලාංකික බෞද්ධ පුණ්‍යායතනය වන්නේ අප නෙදර්ලන්තය මහමෙව්නාව භාවනා අසපුව යි. අපගේ ගුරුදේවෝත්තම අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ උතුම් සදහම් සේවාවේ ප්‍රථිඵලයක් ලෙස නෙදර්ලන්තයේ පිහිටුවන්නට යෙදුන මහමෙව්නාව භාවනා අසපුව මගින් මේ වන විට නෙදර්ලන්තයේ මෙන්ම බෙල්ජියම ඇතුළු අවට යුරෝපා රටවල සුවිසල් සදහම් සේවාවක් ඉටු කරණු ලැබේ. එමගින් ශ්‍රී ලාංකික බෞද්ධ පින්වතුන් මෙන්ම නෙදර්ලන්ත ජාතික පින්වතුන් ද අනෙකුත් විදේශීය ජාතික පින්වතුන් ද තම ජීවිත වල ලබන අස්වැසිල්ල අති මහත්ය.

මෙම සදහම් සේවාව තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත කරනු පිණිසත්, නෙදර්ලන්තයේ වෙසෙන සියලු දෙනාටම අප මහමෙව්නාව භාවනා අසපුව මගින් සිදු කෙරෙන සදහම් සේවාව පිළිබදව වැටහීමක් ලබා දෙනු පිණිසත්, අප අසපුව සමග සුහදව අත්වැල් බැදගනිමින් මෙම සදහම් සේවාවට එක්වීම පිණිස ඉඩහසර ලබා දීම පිණිසත් අප විසින් වාර්ශිකව Open day and Sri Lankan cultural day නමින් විශේෂ වැඩසටහනක් පවත්වනු ලැබේ. පසුගිය කාලයේ ඉතා අවාසනාවන්ත ලෙස ලොව පුරා පැතිරගිය කොරෝනා වසංගත තත්වය නිසා පසුගිය වසර දෙක තුල අප හට මෙම වැඩසටහන පැවැත්වීමට නොහැකි විය.

එනමුදු මේ වන විට කොරෝනා වසංගත තත්වය ක්‍රමයෙන් පහව යන බැවින් එම වැඩසටහන මේ වසරේ පැවැත්වීමට අප බලාපොරොත්තු වන බව සියලු දෙනා වෙත සතුටු සිතින් යුතුව දන්වා සිටිමු. ජූනි මස 05 වන ඉරිදා දින උදෑසන 10.00 සිට දවස පුරා නෙදර්ලන්තය මහමෙව්නාව භාවනා අසපු භූමියේ දී පැවැත්වෙන මෙම Open day and Sri Lankan cultural day වැඩසටහන තුලින් අප බලාපොරොත්තු වන්නේ නෙදර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික පින්වතුන් තුල මෙන්ම නෙදර්ලන්ත ජාතික පින්වතුන් තුල ද නෙදර්ලන්තයේ වෙසෙන අන්‍ය ජාතික පින්වතුන්  තුල ද බෞද්ධ ප්‍රබෝධයක් ඇති කරලීමත්, ක්‍රමයෙන් අපගෙන් ඈත්ව යන ශ්‍රී ලාංකික සංස්කෘතික උරුමයන් පිළිබදව වැටහීමක් ලබා දීමත්ය.

එදිනට මෙම වැඩසටහන සමග සම්බන්ධ වන පින්වත් ඔබට…

  1. මහමෙව්නාව භාවනා අසපුව පිළිබදව වැටහීමක් ලබා ගැනීම
  2. අසපුව මගින් සිදු කෙරෙන සදහම් සේවාව පිළිබදව වැටහීමක් ලබා ගැනීම
  3. පින්වත් ස්වාමීන් වහන්සේලා සමග පුද්ගලිකව කතාබස් කිරීම
  4. අසපුව මගින් සිදු කෙරෙන ඉදිරි වැඩසටහන් සමග සම්බන්ධ වීමට අවස්ථාව සලසා ගැනීම
  5. අසපුවේ ධර්මප්‍රචාරක කටයුතු වෙනුවෙන් ඔබගේ දායකත්වය ලබා දීම
  6. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය පිළිබදව වැටහීමක් ලබා ගැනීම
  7. බෞද්ධ නාට්‍ය, බොදු බැති ගී, බෞද්ධ නර්තන ඇ.තුලු ආගමික සහ සංස්තෘතික අංග සමග එක්වීම
  8. කුඩා දරුවන් වෙනුවෙන් පැවැත්වෙන විශේෂාංග සමග ඔබගේ දරුවන්ට එක්විය හැකි වීම
  9. එදිනට පැවැත්වෙන ශ්‍රී ලාංකික ආහාර අලෙවි කරන ආහාර අලෙවි සැල් වලින් ශ්‍රී ලාංකික ආහාර වේලක් ලබා ගැනීම…
    ආදී නොයෙකුත් වැඩසටහන් සමග එක් වීමට පින්වත් ඔබට අවස්ථාව ලැබෙනු ඇත.

සුපින්වත් ඔබට ද මෙම Open day and Sri Lankan cultural day වැඩසටහන සාර්ථකව සහ පහසුවෙන් සිදු කරගැනීම වෙනුවෙන් ඔබගේ බැතිබර දායකත්වය ලබා දිය හැකි අතර ඒ පිළිබද සියලු විස්තර පහත දුරකථන අංකයන්ගෙන් ලබා ගත හැකිය.

  1. නන්දන සමරසිංහ මහතා – 06 14 57 37 50
  2. ලාල් සම්පාය මහතා – 06 46 43 02 64

අප අසපුව මගින් සිදු කෙරෙන සදහම් සේවාව සමග එක්ව ගෞතම බුදු සසුනේ පිළිසරණ සළසා ගනු පිණිස උපකාර වන පිං දහම් රැස් කර ගැනීමටත්, අපගේ මාතෘ භූමිය වන ශ්‍රී ලංකාවේ ආගමික – සංස්කෘතික අංග සමග මිහිරි අත්දැකීමක් නෙදර්ලන්තය තුල දී ලබා ගැනීම පිණිසත් එදිනට අප සමග එක් වන ලෙස සුපින්වත් ඔබ සැමට අපි මෙත් සිතින් යුතුව ආරාධනා කර සිටිමු.

සියලු දෙනාටම තෙරුවන් සරණයි.