අසිරිමත් වෙසක් සදහම් මංගල්‍යය – 2022 (ශ්‍රී බුද්ධ වර්ශ 2565)

අපගේ පරම පූජනීය ශාස්තෘන් වහන්සේ වන ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ලොව පහළවීම, උතුම් සම්බුද්ධත්වයට පත්වීම හා පිරිනිවන්පෑම යන උතුම් තෙමගුල සිදුවූයේ වෙසක් පුන් පොහෝ දිනයන්හීදී ය.

එමෙන්ම සම්බුද්ධත්වයෙන් වසර අටක් ගත වූ තැන බුදුරජාණන් වහන්සේ තුන්වන වරට ලංකාද්වීපයේ කැළණියට වැඩම කොට වදාළේ ද වෙසක් පුන් පොහෝ දිනකය.

බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව ප‍්‍රථම වරට කිඹුල්වත්පුරයට වැඩම කොට යමා මහ පෙළහර පා වදාළේ ද වෙසක් පුන් පොහෝ දිනකය.

අප බුදු රජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ වූ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේගේ පිරිනිවන්පෑම සිදුවූයේ ද වෙසක් පුන් පොහෝ දිනකය.

මෙවන් අසිරිමත් සිදුවීම් රැසක් සිදු වූ අසිරිමත් වෙසක් පුන් පොහෝ දිනය නිමිතිකරගෙන මෙවරද වෙසක් පුන් පොහෝ දිනය යෙදී තිබෙන මැයි මස 15 වන ඉරිදා දින අප නෙදර්ලන්තය මහමෙව්නාව භාවනා අසපුවේ දී අසිරිමත් වෙසක් මංගල්‍යය උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට අපි බලාපොරොත්තු වන්නෙමු. මෙවර යෙදී තිබෙන්නේ ශ්‍රී බුද්ධ වර්ශ 2565 වන වෙසක් මංගල්‍යයි.

එදින උදෑසන 8.00 සිට දවස පුරාම අසපු භූමියේ දී මෙම සදහම් මංගල්‍යය පැවැත්වෙන අතර අෂ්ඨාංග උපෝසථ සීලය සමාදන් වීම, ධර්ම දේශනා, ධර්ම සාකච්චා, භාවනා, සූත්‍ර සජ්‍ඣායනා, අසිරිමත් සත්බුදු වන්දනාව සහ ආලෝක පූජාව ඇතුලු ආමිස පූජාවන් ප්‍රතිපත්ථි පූජාවන්ගෙන් යුතුව මෙවර වෙසක් මංගල්‍යය සැමරීමට අප බලාපොරොත්තු වේ.

අප ආදරයෙන් සරණ ගිය අපගේ පරම පූජනීය ශාස්තෘන් වහන්සේ වන ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් තෙමගුල සිහිපත් කෙරෙන මෙම උතුම් වෙසක් සැමරුම සමග එක් වන ලෙස සුපින්වත් ඔබ සැමටම අප මෙත් සිතින් යුතුව ආරාධනා කර සිටිමු. එමෙන්ම සුපින්වත් ඔබට ද නන් අයුරින් මෙම පුණ්‍යකර්මයට දායක වී අපමණ පින් ඵල නෙලා ගත හැකිය.
සියලු විමසීම් – 06 199 15 161

අප සියලු දෙනාටම සුවසේ පින් දහම් රැස් කර ගනිමින්, කුසල් දහම් දියුණු කර ගනිමින්, ගෞතම බුදු සසුනේ උතුම් පිළිසරණ ලබන්නට වාසනාව ලැබේවා!

සියලු දෙනාටම තෙරුවන් සරණයි.