ක්ෂණ සම්පත්තිය

ක්ෂණ සම්පත්තිය

දුලබ මොහොත

ක්ෂණය යනු මොහොතකි. එ් මොහොත සැණෙකින් ගිලිහී යා හැකිය. එ් නිසා යම් කෙනෙකුට යම් මොහොතක චතුරාර්ය සත්‍යය ධර්මය ශ‍්‍රවණය කරන්නට ලැබෙයි නම්, ඔහුට එ් මොහොත ක්ෂණ සම්පත්තියකි. දීර්ඝ සසරේ කෙනෙක් උපදින ආත්ම භාවයන්ගේ ස්වභාවය ගැන පැහැදිලිව වදාළේ බුදුරජාණන් වහන්සේ පමණි. කෙනෙක් කල්පයක කාලයක් තුළ මරණයට පත්වන වාර ගණනේදී ඔහුගේ ඇට සැකිල්ල පස් වී නොයන්නේ නම්, එ් ඇට සැකිලිවලින් සුවිසල් කන්දක් තැනිය හැකි බවට බුදුරජාණන් වහන්සේ වදාළේ දීර්ඝ සසරේ ස්වභාවය ගැන බුද්ධිමත් මිනිසෙකුට යළි යළිත් සිතන්නට ඇරයුම් කරමිනි.

එබඳු දීර්ඝ ගමනක් තුළ කෙනෙකුට ලැබෙන්නේ මිනිසත් බව පමණක් නොවේ. පෘථග්ජන භාවයේ ම රැඳී මේ සසර චාරිකාව දිගින් දිගට පවත්වන කෙනා එක ජීවිතයක මිනිසෙකි. ඊළඟ ජීවිතයේ ඔහු නැවත මිනිසෙකු වීම කලාතුරකින් සිදුවන දෙයකි. බොහෝ විට සිදුවන්නේ ප්‍රේත ලෝකයේ හෝ තිරිසන් ලෝකයේ හෝ නිරය වැනි තැනක හෝ උපත ලැබීමයි. මේ නිසා මිනිසත් භාවය ලැබූ තැනැත්තා හට එහි වටිනාකම හඳුනාගත හැක්කේ ශ‍්‍රී සද්ධර්මය තුළින් පමණි. ජීවිතය ගැන ඉතා නිවැරදි දැනීමක් ලබාගැනීමට නම් පිරිසිදු බුද්ධ දේශනාවන්ට සවන් දිය යුතුය. ක්ෂණ සම්පත්තිය ලැබීම ගැනත්, ක්ෂණ සම්පත්තිය අහිමි වීම ගැනත්, ශ‍්‍රී සද්ධර්මය තුළ ඉතා පැහැදිලිව දැකිය හැකිය. ක්ෂණ සම්පත්තිය අහිමි වීම ගැන බුදු සමිඳුන් අපට හඳුන්වාදී වදාළේ දුෂ්ටක්ෂණය නමිනි. එනම් එහි ඇත්තේ සම්පතක් නොවේ, දුෂ්ටතාවයකි.

චතුරාර්ය සත්‍යය ධර්මය ලොවට ඇසෙන්නට පටන් ගන්නේ බුද්ධ කාලයක පමණි. එය බුදුරජාණන් වහන්සේගෙන් හා බුද්ධ ශ‍්‍රාවකයින්ගෙන් පමණක් අසන්නට ලැබේ. එලෙසින් ඉතා දුර්ලභ වූ එ් චතුරාර්ය සත්‍යය ධර්මය ලොවට ඇසෙද්දී යමෙක් සිටින්නේ එය අවබෝධ කළ නොහැකි පරිසරයක නම් එ් ක්ෂණය ඉතා දුෂ්ට වූ මොහොතකි.

චතුරාර්ය සත්‍යය ධර්මය නම් වූ ශ‍්‍රී සද්ධර්මය පිළිබඳ පරම සුන්දර පණිවුඩය මිහිරි සුවඳක් සේ ලොව පුරා පැතිර යද්දී එය අවබෝධ කළ යුතු තැනැත්තා ඉපිද සිටින්නේ නිරයේ නම් එය ඔහුට දුෂ්ටක්ෂණයකි. චතුරාර්ය සත්‍යය ධර්මය ශ‍්‍රවණය කරන්නට ලැබෙද්දී එය අවබෝධ කළ යුතු තැනැත්තා ඉපිද සිටින්නේ තිරිසන් අපායේ නම් එය ඔහුට දුෂ්ටක්ෂණයකි. චතුරාර්ය සත්‍යය ධර්මය ඇසෙන මායිමට පැමිණීමේ වාසනාවක්  ප්‍රේතයින්ට නැත. එය ඔවුන්ට දුෂ්ටක්ෂණයකි. සතර අපායේ ඉපිද සිටින සියලු සත්වයෝ ක්ෂණ සම්පත්තිය අහිමි කරගත් පිරිස වෙති. එමෙන් ම චතුරාර්ය සත්‍යය ධර්මය පැතිර යද්දී යම් මිනිසෙක් එය නොඇසෙන දුරක දිවි ගෙවයි නම්, ඔහුගේ ක්ෂණ සම්පත්තිය ද අහිමි වී ඇත. එමෙන් ම චතුරාර්ය සත්‍යය ධර්මය දේශනා කරද්දී යමෙක් එයට සවන් දුන්න ද එ් තැනැත්තා මන්දබුද්ධික කෙනෙක් නම් එය ද ඔහුට දුෂ්ටක්ෂණයකි. චතුරාර්ය සත්‍යය ධර්මය දේශනා කරද්දී එයට සවන් දිය නොහැකි බොහෝ ආයුෂ ඇති බ‍්‍රහ්ම තලවල කෙනෙක් ඉපදී සිටිත් නම් එය ඔහුට දුෂ්ටක්ෂණයකි. මෙහි ඇති මෙවැනි ම වූ ඉතා බරපතල ඊළඟ අවස්ථාව නම් කෙනෙක් ඉතා බුද්ධිමත්ව මිනිස් ලොව ඉපිද සිටී. ඔහුට චතුරාර්ය සත්‍යය ධර්මය ශ‍්‍රවණය කරන්නට ලැබුණොත් එය අවබෝධ කොට මගඵල ලබා සතර අපායෙන් මෙන් ම සසරින් ද නිදහස් විය හැකිය. එහෙත් ඔහුට චතුරාර්ය සත්‍යය ධර්මය අසන්නට නොලැබේ. එය ඔහු ලබා ඇති දුෂ්ටක්ෂණයකි.

බුද්ධිමත් මිනිසෙකුට චතුරාර්ය සත්‍යය ධර්මය අසන්නට ලැබෙද්දී ඔහු එ් කෙරෙහි පහදී නම්, ‘අනේ… මටත් මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීමට පුළුවන්’ යැයි සිතා ඔහු තෙරුවන් කෙරෙහි ශ‍්‍රද්ධාවට පැමිණෙයි නම් එ් තැනැත්තාට පරම දුර්ලභ වූ ක්ෂණ සම්පත්තිය ලැබේ.

අප උපතින් බෞද්ධ නමුත්, ගෞතම බුදුරජුන් සරණ යන නමුත් අප දන්නා තරමින් අපගේ දෙමාපියන් මුතුන් මිතත්තන් නෑදෑයින් යහළු මිත‍්‍රාදීන්ට එ් ක්ෂණ සම්පත්තිය ලැබූ බවක් දැක ගන්නට නැත. කොටින් ම අපට දහම් දෙසන ස්වාමීන් වහන්සේලා අතර පවා යමෙක් ක්ෂණ සම්පත්තිය ලබා සිටිත් නම්, එය ඉතා දුර්ලභ දෙයකි. ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ශ‍්‍රී සද්ධර්මය ඉතා නිරවුල්ව ඉතා ප‍්‍රභාෂ්වරව ධර්ම විනය තුළ අද පවා බුද්ධිමත් කෙනෙකුට දැක්ක හැකිය. චතුරාර්ය සත්‍යය පිළිබඳ ඉතා පැහැදිලි විස්තර අද පවා පහසුවෙන් කෙනෙකුට ඉගෙන ගත හැකිය. එවන් දුර්ලභ වූ පරම පිවිතුරු වූ එම චතුරාර්ය සත්‍යය ධර්මය අසා දැන ගෙන ක්ෂණ සම්පත්තිය ලබාගැනීමට තරම් භාග්‍යවන්ත බවක් අප සියලු දෙනාටම උදා වී තිබේ.

වර්තමානයේ ජීවත් වන කෝටි සංඛ්‍යාත මිනිස් වර්ගයා අතර ක්ෂණ සම්පත්තිය ලබාගත් පිරිස් වශයෙන් ගිණිය හැක්කේ ඉතා සුළු පිරිසකි. එයට ප‍්‍රධාන ම හේතුව වූයේ බුදුරජාණන් වහන්සේ වදාළ එ් ශ‍්‍රී සද්ධර්මයේ සුවිශේෂී පණිවිඩය වන චතුරාර්ය සත්‍යය ධර්මය අසන්නට නොලැබීම යි.

තම හිසට ගිනි ඇවිලෙද්දී එය පවා නොසලකා හැර චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමට හදිස්සි වන්නැයි බුදුරජාණන් වහන්සේ වදාළේ එහි ඇති සුවිශේෂී වටිනාකම බුදු ඇසින් මනාකොට දුටු නිසා ය. එම නිසා තෙරුවන් සරණ ගිය ආර්ය ශ‍්‍රාවකයෙකුට නිතර නිතර අසන්නට ලැබිය යුත්තේ චතුරාර්ය සත්‍යය ධර්මය යි. බුද්ධිමත් මිනිසෙකුට ක්ෂණ සම්පත්තිය මතු වන්නේ එ් තුළින් මිස වෙන කිසි දෙයක් තුළින් නොවේ.

බුදු රජුන් පෙන්වා වදාළේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගත හැකි මිනිසුන් මේ සමාජය තුළ සිටින බවයි. ඔවුන් හට එම උතුම් ධර්මය අසන්නට නොලැබුණොත් ඔවුන් ලද එ් බුද්ධියෙන් පවා පිරිහී යා හැකි බවයි. එවිට ක්ෂණ සම්පත්තිය අහිමි වී යයි. ක්ෂණ සම්පත්තිය අහිමි වූ උදවිය නිරයේ ඉපිද තමන් ලද දුර්ලභ භාග්‍යය අහිමි වීම නිසා ශෝක කරමින් කල් ගෙවන බව බුදු සමිඳාණෝ වදාළ සේක.

පෘථග්ජනභාවය නැමැති මඩ වගුරෙන් නිදහස් වී ආර්ය ශ‍්‍රාවක භාවයට පැමිණිය හැක්කේ ක්ෂණ සම්පත්තිය ලබා ගැනීමෙනි. අප කවුරුත් පෘථග්ජන කියමින් දුෂ්ටක්ෂණයට පැමිණෙන අවාසනාවන්ත මිනිසුන් ගැන උපේක්ෂා සහගත වීම හැර වෙන කළ යුතු දෙයක් නැත. එම නිසා මේ දුර්ලභ මොහොතේ වටිනාකම ඔබ බුද්ධිමත් නම් ඔබට අවබෝධ කර ගත හැකිය. බුද්ධිමත් ඔබ සවන් දිය යුත්තේ, කෙනෙකුගේ දේශනා විලාශය ආකර්ෂණීය වීම නිසා නොවේ. බුද්ධිමත් ඔබ සවන් දිය යුත්තේ දහම් දෙසන කෙනා ලස්සන නිසා නොවේ. බුද්ධිමත් ඔබ සවන් දිය යුත්තේ දහම් දෙසන කෙනාට මිහිරි හඬක් තිබීම නිසා නොවේ. ඔබ බුද්ධිමත් නම්, ඔබ සවන් දෙන ධර්මය තුළ ඉතා පැහැදිලි ලෙස ඉතා පිරිසිදු ලෙස චතුරාර්ය සත්‍යය ධර්මය තිබේදැයි නුවණින් විමසා බැලිය යුතුයි. එ් චතුරාර්ය සත්‍යය ධර්මය කරා ඔබ නොයයි නම් ඔබ කොතෙක් වාර ගණනක් බණ ඇසුව ද ඔබ අසා තිබෙන්නේ එකිනෙකාගේ පෞද්ගලික අදහස් සමූහයක් විනා බුදු රජුන් වදාළ ශ‍්‍රී සද්ධර්මය නොවේ. දහම් පද උපුටා දක්වමින් මේ වසර හැට හැත්තෑවක ජීවිතය පමණක් ලෞකික වශයෙන් සරු කිරීමට කතා කරයි නම්, ඔහු මේ සා දීර්ඝ සසර ගමනේ ස්වභාවය කෙසේ නම් දැනගන්නද?

එ් නිසා දැන් ඔබ ක්ෂණ සම්පත්තිය කුමක්දැයි නිවැරදිව තේරුම් ගත යුතුය. ඔබ ජීවිතය තේරුම් ගැනීමට හැකියාව තිබෙන බුද්ධිමත් මිනිසෙකු නම්, එක සුදුසුකමක් දැන් ඔබ තුළ සම්පූර්ණ වී ඇත. එබඳු ඔබට චතුරාර්ය සත්‍යය ධර්මය ඉතා පිරිසිදු ලෙස ශ‍්‍රවණය කරන්නට ලැබෙයි නම්, කියවන්නට ලැබෙයි නම්, පරම දුර්ලභ වූ ධර්මය ඔබට මුණගැසී ඇත. එ් තුළින් තෙරුවන් කෙරෙහි අවංක ශ‍්‍රද්ධාවක් ඔබට ඇති වී මේ බුදු සසුනේ ම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමේ අවශ්‍යතාවයක් ඔබේ හදවතේ පැණ නගී නම් ඔබ ඉතා ම දුර්ලභ වූ ක්ෂණ සම්පත්තිය ලබාගත් කෙනෙකි. ඔබට එ් ක්ෂණ සම්පත්තිය අහිමි නොවේවා යනු අපගේ සෙනෙහෙබර පැතුමයි.

  1. මනුස්සලාභං ලද්ධාන – සද්ධම්මේ සුප්පවේදිතේ
    යේ ඛණං නාධිගච්ඡන්ති – අතිනාමෙන්ති තේ ඛණං
යම් කෙනෙක් මනුෂ්‍ය ආත්මභාවයක් ලබාගෙන මැනැවින් දේශනා කරන ලද සද්ධර්මය ත් ඇති කල්හී, ධර්මයෙහි හැසිරෙන්නට සුදුසු අවස්ථාව නොලබති නම්, ඔවුහු ඒ ක්ෂණ සම්පත්තිය ඉක්මවා යති.
  1. බහූ හි අක්ඛණා වුත්තා – මග්ගස්ස අන්තරායිකා
    කදාචි කරහචි ලෝකේඋප්පජ්ජන්ති තථාගතා
නිවන් මගට අන්තරායකර වූ බොහෝ නුසුදුසු අවස්ථාවෝ බුදු රජාණන් වහන්සේ විසින් වදාරණ ලද්දාහ. ඉතාමත් කලාතුරකින් කිසියම් ම කාලයක තථාගතයන් වහන්සේලා ලෝකයෙහි පහළ වෙති.
  1. තයිදං සම්මුඛීභූතං – යං ලෝකස්මිං සුදුල්ලභං
    මනුස්සපටිලාභෝ ච – සද්ධම්මස්ස ච දේසනා
    අලං වායමිතුං තත්ථ –  අත්තකාමේන ජන්තුනා
මිනිසත් බව ලැබීම ත්, සද්ධර්මය දෙසීම ත් යන යමක් ලොවෙහි අතිශයින් ම දුර්ලභ වෙයි ද, ඒ දුර්ලභ වූ ක්ෂණ සම්පත්තිය ඔහුට මුණ ගැසුණේ ය. එහිලා තම යහපත කැමති මිනිසා විසින් උත්සාහ කිරීම ම මැනැවි.
  1. කථං විජඤ්ඤා සද්ධම්මංඛණෝ වෝ මා උපච්චගා
    ඛණාතීතා හි සෝචන්ති – නිරයම්හි සමප්පිතා
සද්ධර්ම දෙසුම දැන ගන්නේ ය. ‘ඔබට ලද ක්ෂණ සම්පත්තිය ඉක්ම යන්නට එපා’ ක්ෂණ සම්පත්තිය අත්හැර ගත් උදවිය නිරයෙහි වැටී ශෝක කරති.
  1. ඉධ චේ නං විරාධේතිසද්ධම්මස්ස නියාමතං
    වාණිජෝව අතීතත්ථෝචිරත්තං අනුතපිස්සති
මෙහි සද්ධර්ම නියාමය නම් වූ ආර්ය මාර්ගය වරදවා ගත්තේ නම්, වෙළඳාම වැරදුණු වෙළෙන්දෙකු සෙයින් බොහෝ කල් තැවෙන්නේ ය.
  1. අවිජ්ජානිවුතෝ පෝසෝසද්ධම්මං අපරාධිකෝ
    ජාතිමරණසංසාරං – චිරං පච්චනුභොස්සති
සද්ධර්මය වරදවා ගත් අවිද්‍යාවෙන් වැසී ගිය පුරුෂයා ඉපදෙන – මැරෙන සංසාරයෙහි බොහෝ කල් දුක් විඳ විඳ හැසිරෙන්නේ ය.
  1. යේ ච ලද්ධා මනුස්සත්තං – සද්ධම්මේ සුප්පවේදිතේ
    අකංසු සත්ථු වචනංකරිස්සන්ති කරොන්ති වා
යම් කෙනෙක් මිනිස් බව ලැබ මනා කොට දේශනා කරන ලද සද්ධර්මය ත් ඇති කල්හී ශාස්තෘන් වහන්සේගේ වචනය අනුව කටයුතු කළාහු ද, කටයුතු කරන්නාහු ද, කටයුතු කරත් ද,
  1. ඛණං පච්චවිදුං ලෝකේබ්‍රහ්මචරියං අනුත්තරං
    යේ මග්ගං පටිපජ්ජිංසුතථාගතප්පවේදිතං
යම් කෙනෙක් ලෝකයෙහි ඇති අනුත්තර වූ නිවන් මගින් යුතු ක්ෂණ සම්පත්තිය අවබෝධ කළාහු ද, ඔවුහු තථාගතයන් වහන්සේ විසින් වදාළ මාර්ගයට පිළිපන්නාහු ය.
  1. යේ සංවරා චක්ඛුමතා – දේසිතාදිච්චබන්ධුනා
    තේසු ගුත්තෝ සදා සතෝවිහරේ අනවස්සුතෝ
යම් කෙනෙක් සදහම් ඇස් ඇති ආදිච්ච බන්ධූන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මයට අනුව සංවර වී, වසාගත් දොරටු ඇති ව, හැම කල්හී සිහි නුවණින්, කෙලෙසුන්ගෙන් තෙත් නොවී වාසය කරන්නාහු ද,
  1. සබ්බේ අනුසයේ ඡෙත්වාමාරධෙය්‍යපරානුගේ
    තේ චේ පාරගතා ලෝකේ – යේ පත්තා ආසවක්ඛය’න්ති
යම් කෙනෙක් මාරයාගේ බල ප්‍රදේශය වූ සසර අනුව යන සියළු අනුසය සිඳ ආශ්‍රවයන් ක්ෂය කොට අරහත් ඵලයට පැමිණියාහු ද, ඔවුහු ඒකාන්තයෙන් දුකෙන් පිරුණු ලෝකයෙන් එතෙරට ගියාහු ය.

සාදු! සාදු!! සාදු!!!

(අක්ඛණ සූත්‍රය – අංගුත්තර නිකාය)