අමා පැන් තොට

අමා පැන් තොට

මහමෙව්නාව - නෙදර්ලන්තය

මහමෙව්නාව භාවනා අසපුවේ ආරම්භය …

මහමෙව්නාව භාවනා අසපුව යනු ලෝක ව්‍යාප්ත ථේරවාදී බෞද්ධ ධර්ම ප්‍රචාරක මධ්‍යස්ථානයකි. මහමෙව්නාව භාවනා අසපු සංචිතයෙහි නිර්මාතෘ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් “ගෞතම බුදු සසුන බබුළුවන පිරිසක් බිහිවේවා!” යන උතුම් පැතුම පෙරදැරි කරගෙන 1999 අගෝස්තු මස 14 වැනි දින පොල්ගහවෙල වඩුවාවේ දී මුල් ම මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කරන ලදී.

ඉටිරෙදිවලින් වටකළ පොල් අතු සෙවිලි කළ කුටි තුනකින් ආරම්භ කළ මහමෙව්නාව භාවනා අසපුව හරහා සිදුවූ සුවිශාල ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙළ තුළින් ගත වූ මෙම වසර විසිදෙකක කාලය තුළ මහමෙව්නාව භාවනා අසපුව ලක්දිව මෙන්ම දේශ දේශාන්තරයන් හි ද කීර්තිමත් බෞද්ධ සිද්ධස්ථානයක් බවට පත්විය. ඉතා සුළු පිරිසකගෙන් ආරම්භ වූ දහම් සේවාව ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සිත් සතන් පුරා පැතිර ගියේය. ජීවිතාවබෝධයට කැමැති සැදැහැවතුන් යළිත් ගෞතම බුදු සසුනෙහි අභිමානය සිහි ගන්වමින් මහමෙව්නාව කරා ඇදී එන්නට පටන් ගත්හ.

මිහිඳු මහරහතන් වහන්සේ විසින් මින් වසර දෙදහස් තුන්සිය ගණනකට පෙර අනුරාධපුර මහමෙව්නා උයනේදී අපගේ ශ්‍රී ලංකාද්වීපයෙහි ගෞතම බුද්ධ සාසනය ස්ථාපිත කරන ලදී. ඒ ගෞතම බුදු සසුනේ සුන්දර පණිවිඩය ලොව පුරා පැතිරවීම ඉලක්ක කොටගෙන ය මෙම ආයතනයට “මහමෙව්නාව” යන නම තබන ලද්දේ. අසපුව යනු ආරාම යන පාළි වචනයෙහි සිංහල අර්ථය යි. ආශ්‍රම යනු එහි ම සංස්කෘත වචනය යි. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි සමයේ දඹදිව තිබූ ජේතවනාරාමය, වේළුවනාරාමය සිංහලෙන් ජේතවන අසපුව, වේළුවන අසපුව යනුවෙන් හැඳින්විය හැක. ‘අසපුව, ආරාමය, ආශ්‍රමය’ යනු සිල්වතුන් ගුණවතුන් වසන තැන යන යන්න ය. මෙකී සියලු අර්ථ සලකා මෙම ආයතනය “මහමෙව්නාව භාවනා අසපුව” යනුවෙන් හඳුන්වනු ලැබේ.

මේ වන විට මහමෙව්නාව භාවනා අසපුවේ පැවිදි උපසම්පදාව ලබා ගෞතම බුදු සසුනෙහි ධර්ම විනයානුකූලව පිළිවෙත් පුරන භික්ෂූන් වහන්සේලා ගණන අටසීයයකටත් අධික ය. ශාඛා ප්‍රශාඛා විහිදී ගිය සුවිසල් නුග රුකක් පරිද්දෙන් ලොව පුරා විහිද ගොස් ඇති මහමෙව්නාව භාවනා අසපු සංචිතය මේ වන විට දේශීය අසපු ශාඛා 50 කින් ද විදේශීය අසපු ශාඛා 30 කින් ද අනගාරිකා අසපු ශාඛා 10 කින් ද සමන්විත වේ.

 

මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානය …

1999 අගෝස්තු මස 14 වෙනි දින මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කොට පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පොල්ගහවෙල, වඩුවාව ග්‍රාමයේ ආරම්භ කරන ලද මුල්ම අසපුව මේ වන විට සුවිශාල ආයතනයක් වන අතර එය සියලුම මහමෙව්නාව භාවනා අසපු ශාඛාවන්හී මූලස්ථානය යි. එහි සියක් නමකට අධික වූ භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ පනහකට අධික වූ පැවිදි අපේක්ෂක අනගාරික උපාසක පිරිසක් නේවාසිකව වැඩසිටිති. දෙස් විදෙස් සියලු අසපු ශාඛාවන්හි පරිපාලන කටයුතු සිදු කෙරෙන්නේ මෙම අසපුව මූලික කොටගෙනයි. 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් බුදුරජාණන් වහන්සේ උදෙසා ඉදි වූ සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාව” නම් වූ ජීවමාන බුදුරජුන් මෙන් දිස්වන අලංකාර බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩසිටින සුවිසල් විහාර මන්දිරයක් ද පරිවාර බෝධීන් වහන්සේලා සතර නමකගෙන් සමන්විත “සිරි ගෞතම බෝධි මණ්ඩපය” ක් ද සර්වඥ ධාතු නිධන් කොට තැනූ “සිරි ගෞතම දම්සක් මහා සෑය” නම් වූ මහා ස්ථූපයක් ද සැදැහැවතුන්ට වන්දනාමාන කොට පින් රැස්කරගැනීම සඳහා මෙම පින්බිමෙහි නිර්මාණය කොට තිබේ.

 

නෙදර්ලන්තය මහමෙව්නාව භාවනා අසපුව …

මහමෙව්නාව භාවනා අසපු සංචිතයෙහි නිර්මාතෘ සහ ප්‍රධාන අනුශාසක අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පුණ්‍ය සංකල්පයකට අනුවම 2015 වසරේ ඔක්තෝම්බර් මස 18 වන දින මෙම නෙදර්ලන්තය මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ විය. නෙදර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික පින්වතුන් හට මෙන්ම නෙදර්ලන්ත ජාතික පින්වතුන් හට ද අප ගෞතම බුදු රජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය කියා දීමත්, දුර්ලභව ලද මිනිස් ජීවිතය තුල මුණ ගැසුන ක්ෂණ සම්පත්තිය ආරක්ෂා කර ගනිමින් සුවසේ පින් දහම් රැස් කර ගැනීම පිණිසත්, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස හේතු වන කුසල් දහම් දියුණු කර ගැනීමට උපකාර කිරීමත් එහි ප්‍රධාන අරමුණ යි. 

Middenweg 65, 1394 AD, Nederhorst Den Berg, යන ලිපිනයෙහි පිහිටා තිබෙන නෙදර්ලන්තය මහමෙව්නාව භාවනා අසපුව නෙදර්ලන්තයේ අගනුවර වන ‘Amsterdam නගරයට ආසන්නයේ පිහිටි පහසුකම් සහිත සුන්දර කුඩා ගම්මානයක පිහිටා තිබේ.

මෙම මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කොට ගත වූ මෙම කෙටි කාලය තුල නෙදර්ලන්තය තුල සුවිසල් දහම් ප්‍රබෝධයක් ඇති කිරීමට හැකි වී තිබේ. අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා හතර නමක් මේ වන විට අසපුවේ වැඩ වාසය කරන අතර උන් වහන්සේලා සැදැහැවතුන් කෙරෙහි ඉතා කරුණාවෙන් අප බුදු රජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය කියා දෙන සේක. පින් දහම් රැස් කර ගැනීමට නිරන්තරයෙන් උපකාර කරන සේක. 

අප නෙදර්ලන්තය මහමෙව්නාව භාවනා අසපුව සමග එක්වන සුපින්වත් ඔබ සියලු දෙනාම අපි මෙත් සිතින් යුතුව පිළිගන්නෙමු. අපගේ දහම් සේවාව තුළ කිසිදු ජාති භේදයක් නැත. භාෂා භේදයක් නැත. වර්ණ භේදයක් නැත. ආගම් භේදයක් නැත. ඕනෑම කෙනෙකුට බුදුරජුන්ගේ සත්‍යය විවෘතව ඇත. එම සත්‍යය තේරුම් ගැනීම පිණිස ඔබ බුද්ධිමත් නම් ඒ ධර්මය තිබෙන්නේ ඔබ සඳහා ය. ඔබේ යහපත හා සැපය සඳහා ය. එනිසා අප සියලු දෙනා එම සත්‍යය වටා රොක් වෙමු. ඉගෙන ගනිමු. ධාරණය කරගනිමු. තේරුම් ගනිමු. ඒ අනුව ජීවත් වෙමු. ලොවට බෙදා දෙමු. එය මේ යුගයේ අප සතු උත්තරීතර කාර්යභාරයයි. ඔබට බුදුරජාණන් වහන්සේගේත්, උතුම් ශ්‍රී සද්ධර්මයේත්, ආර්ය මහා සංඝරත්නයේත්, කල්‍යාණමිත්‍රයන්ගේත්, සියලු දෙවියන්ගේත් ආශිර්වාදය සැළසේවා!

මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා!