iïnqoaO m%Óud jykafia jevuùu

නෙදර්ලන්තය මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කොට වසරක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ සිට අසිරිමත් සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩම කරවන්නට යෙදුනි. මෙම අසිරිමත් සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ 2016 ඔක්තෝම්බර් මස 21 වන දින අප නෙදර්ලන්තය මහමෙව්නාව භාවනා අසපුව වෙත වැඩම කරවූ අතර උස අඩි හත හමාරක් පමණ වේ. අසිරිමත් ස්වර්ණ වර්ණයෙන් බබළන මෙම උතුම් ප්‍රතිමා වහන්සේ තුල දිස් වන මහා පුරිස ලක්ෂණ වලින් අප ජීවමාන බුදු රජාණන් වහන්සේව සිහි ගන්වයි. අපගේ ශාස්තෘන් වහන්සේගේ අසිරිමත් සම්බුදු ගුණ සිහි කරමින් මෙම අසිරිමත් සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා සිදු කල ප්‍රථම පුෂ්පෝපහාර පුජාව සහිතවූ අසිරිමත් සම්බුද්ධ වන්දනාව ඔක්තෝම්බර් මස 22 වන සෙනසුරාදා දින සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා පැවැත්වුණි. මෙම අසිරිමත් සම්බුද්ධ වන්දනාවට සැදැහැවතුන් 200 දෙනෙක් පමණ සහභාගී වූ අතර එම පිරිස අතර නෙදර්ලන්තයේ වාසය කරන පින්වතුන් හැරුන විට ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, බෙල්ජියම, එංගලන්තය සහ ශ්‍රී ලංකාව යන රට වලින් පැමිණි පිරිසද විය.

මෙම අසිරිමත් පිංකම සඳහා නෙදර්ලන්තය මහමෙව්නාව භාවනා අසපුවාසි පින්වත් ස්වාමින් වහන්සේලා සමග පින්වත් ස්වාමින් වහන්සේලා 9 නමක් සහභාගීවූ අතර උන්වහන්සේලා ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය යන රට වලින් වැඩම කල සේක. පසුදා (23) උදේ සහ දහවල මහා සංඝික දානමය පුණ්‍යකර්මය සිදු කෙරුණි. එදින මහා සංඝ රත්නය උදෙසා දන් පැන් පුජා කිරීමට සැදැහැවතුන් 150 දෙනෙකු පමණ සහභාගී විය.

මෙම උතුම් පින්කම සඳහා දායකවීමෙන්, උදවු උපකාර කිරීමෙන්, සහභාගී වීමෙන් බොහෝ දෙනෙකු තම ජිවිත වලට දුර්ලභ පුණ්‍යධර්මයන් රැස් කර ගත්හ. සියලු දෙනාටම ඒ පින උතුම් නිවන් අවබෝධය පිණිසම හේතු වේවා…!

Image Gallery